Monday 22 December 2014

සමුපකාරය රටට හඳුන්වා දුන් ටී.බී. සුබසිංහ

උපුටා ගැනිම
2009 අගොස්තු 23 ඉරිදා සිළුමින
ඉනෝකා සමරවික්‍රම

සමුපකාරය රටට හඳුන්වා දුන් ටී.බී. සුබසිංහ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සමගි පෙරමුණ රජයේ කර්මාන්ත ඇමැති, විද්‍යා තාක්ෂණ ඇමැති, ආරක්ෂක හා විදේශ කටයුතු භාර ඇමැති වශයෙන් කටයුතු කළ කලක් රුසියාවේ තානාපතිවරයකු වූ සතොස හා ලංකා බැංකුවේ ආරම්භක සභාපති ටී.බී. සුබසිංහ මහතා අභාවප්‍රාප්ත වී වසර දාහතරක් පිරීම නිමිත්තෙනි.
කටුගම්පල සුබසිංහ අතපත්තු ලේකම් කොර්නර් රාළහාමි හා සීලවතී තෙලසිංහ මැණිකේ යුවලට පුතෙක් උපන්නේ ය. 1914 අවුරුද්දේ අගෝස්තු මස පහළොස් වැනිදා ය. ටිකිරි බණ්ඩා සුබසිංහ වූ මේ කුඩා දරුවාට වරාදල ශ්‍රී රතනපාල නායක හාමුදුරුවෝ අත්පොත් තැබූහ. ටිකිරි බණ්ඩාර වයස අවුරුදු තුනේදී නොනවත්වා අකුරු කියවනවා අසා සිටි නායක හාමුදුරුවෝ “මෙන්න පොඩි රාළහාමිට තෑග්ගක්” කියා නලාවක් තෑගි කළේ ය.
එතැන් සිට ටිකිරි බණ්ඩා ගමේ කාටත් පොඩි රාළහාමි විය. තම දරුවාට වඩාත් හොඳ අධ්‍යාපනයක් ලබාදීමේ උවමනාව තිබූ අතපත්තු රාළහාමි ඔහුව මීගමුවේ සැන්ට් මේරිස් විද්‍යාලයට ඇතුළු කළේ ය. එහිදී ඔහුගේ නම වින්සන්ට් සුබසිංහ යනුවෙන් වෙනස් වූයේ ය.
පසු කළෙක සුබසිංහ ශිෂ්‍යා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු වූයේ ය. ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබා නිවෙසට පැමිණෙන සුබසිංහ තම පියාට කියා සිටියේ “තාත්තේ මම විතරක් ඉංගිරිසි ඉගෙන ගෙන මදි. ගමේ හැම ළමයම ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දෙන්න ඕනෑ” ය කියා ය.
තාත්තාගේ ඉඩමක කොටසක් වෙන්කර එහි ගොඩනැගිල්ලක් ඉදිකරගත් සුබසිංහ තරුණයා ගමේ දරුවන්ට එහිදී ඉංගිරිසි ඉගැන්නුවේය. ඔහුගේ සමාජ සේවය ආරම්භ වූයේ පාසල් වියේ සිටම ය.
ඔහු ඉන්දියාවේදී ප්‍රධාන බැංකුවක පුහුණුව ලැබුවේ ය. එමෙන් ම ලන්ඩනයේ ආර්ථික විද්‍යා පාසලේදී ආර්ථික විද්‍යාව පාඨමාලාවක් ද හැදෑරුවේ ය.
මේ අතර ඔහු දේශපාලන පිටියට ද පිවිසියේ ය. එක්දහස් නවසිය හතලිස් හත අවුරුද්දේ පාර්ලිමේන්තු මැතිවරණයට බිංගිරිය ආසනයෙන් තරග කළ ටී.බී. සුබසිංහ මහතා ජයග්‍රහණය ලබා ගත්තේ ය.
පසුව 1956 වසරේ මහජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයකු ලෙස බිංගිරිය ආසනයෙන් විශිෂ්ට ජයක් ලැබූ ඔහු බණ්ඩාරනායක රජයේ ආරක්ෂක හා විදේශ කටයුතු භාර ඇමැතිවරයා වශයෙන් ද කලක් කටයුතු කළේ ය.
ඉන් අනතුරුව 1958 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් ද තේරීපත් වූ ටී.බී. සුබසිංහ මහතා 1960 අවුරුද්දේ දී එක්සත් ජාතීන්ගේ් මණ්ඩලයේ ශ්‍රී ලංකා නියෝජිතයා වශයෙන් තේරී පත්වූයේ ය.
කතානායක වශයෙන් ද කටයුතු කළ සුබසිංහ මහතා එම පත්වීම ඉතිහාසයට එක් කිරීමට සමත් වූයේ ය. 1960 අවුරුද්දේ මාර්තු මස පැවැති මැතිවරණයේදී ජයගත් ඔහු විපක්ෂයෙන් පත්වූ මුල් ම කාතානායක වරයා වශයෙන් ඉතිහාස ගත විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරය ද හෙබැවූ ඔහු 1970 දී බලයට පත්වූ සමඟි පෙරමුණ රජයේ කර්මාන්ත විද්‍යා කටයුතු පිළිබඳ ඇමැතිවරයා වූයේ ය.
ටී.බී. සුබසිංහ මහතා මහත්මා දේශපාලනයෙ නොමැකෙන ලකුණක් වූයේ ය.
ඔහු මන්ත්‍රීවරයෙක් ඇමැතිවරයෙක් වශයෙන් කටයුතු කළ කාලයේදී මෙරට ජනතාව වෙනුවෙන් මෙන් ම ආර්ථිකය නැංවීම වෙනුවෙන් කළ මෙහෙවර විශිෂ්ට ය.
කැළණියේ ටයර් කම්හල, මෝදර පිටි කම්හල, ඔරුවල වානේ කම්හල, මින්නේරිය, වත්තේගම පෙහෙකම්හල් ටී.බී. සුබසිංහ මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ වූ කර්මාන්ත අතර පෙරමුණ ගත්තේ ය. 1970 සිට 1977 දක්වා කර්මාන්ත ඇමැති ධූරය දරමින් ඔහු රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට කළ මෙහෙය නොමැකෙන ලෙස සටහන්ව ඇත.
සමුපකාරය රටට හඳුන්වා දුන්නේ ද ඔහු ය. සමුපකාර රෝහල්, සමුපකාර ගම්මාන, සමුපකාර මෝල්, සමුපකාර සිනමාහල්, සමුපකාර වෙළෙඳසල් මේ සියල්ලේ නිර්මාතෘ ඔහු ය.
සතොස සභාපති වශයෙන් කටයුතු කළ කාලයේ ටී.බී. සුබසිංහ මහතා ලද මාසික වැටුප වූයේ රුපියල් 400 ක් වැනි මුදලකි.
එතුමා මේ මුදල වෙනමම ගිණුමක තැන්පත් කෙළේ ය.
සතොස සේවකයකුගේ දුකකදි කරදරයක දී ගිණුමේ තිබූ මුදල් වැය කෙරිණි.
ටී.බී. ඉලංගරත්න මහතා මහජන බැංකුව ආරම්භ කර එහි මුල් ම සභාපති වශයෙන් පත්කළේ සුබසිංහ මහතා ය.
ඔහු සභාපති ධූරය දැරූ කාලයේ වැටුප් නොලබා සේවය කළේ ය. ඔහුගේ අරමුණ වූයේ මුදල් ඉපයීම නොව මිනිසුන්ට සේවය කිරීමය.
එවකට සෝවියට් දේශය වූ අද රුසියාවේ ඔහු ශ්‍රී ලංකා තානාපති වශයෙන් ද කලක් කටයුතු කෙළේ ය.
පාර්ලිමේන්තුවේ මැති ඇමැතිකම් තනතුරු දැරුව ද ටයිකෝට් පැළඳ පිටරට ගිය ද ටී.බී. සුබසිංහයන් ගත කළේ චාම් ගැමි ජීවිතයකි. ඔහු හේනේ කුඹුරේ ගොවිතැන් කර ජීවත් වූයේ ය.
මිනිසුන් වෙනුවෙන් උපරිම සේවයක් කළ මේ නිහතමානි දේශපාලනඥයා 1995 වසරේ අගෝස්තු 10 දා මෙලොවින් සමුගත්තේ කෘතහස්ත දේශපාලනඥයකු මෙන් ම විශිෂ්ට සමාජ සේවකයකුගේ මතක සටහන් මෙරට ජනතාවගේ සිත් සතන් වල සදා සනිටුහන් කරමිනි.

උපුටා ගැනිම
2009 අගොස්තු 23 ඉරිදා සිළුමින
ඉනෝකා සමරවික්‍රම

No comments:

Post a Comment