Monday 7 December 2015

ක්ෂුද්‍ර මූල්‍ය පනතට කැබිනට් අනුමැතිය


ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම සඳහා වන විධිවිධාන ඇතුළත් ක්ෂුද්‍ර මූල්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම කැබිනට් තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය අංශය මේ වන විට සැලකිය යුතු පරිණතභාවයක් අත්පත් කර ගෙන ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙසින් සමූපකාර සමිති, වාණිජ බැංකු, සංවර්ධන බැංකු, රාජ්‍ය නොවන සංවිධාන හා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන වැනි ආයතන විසින් කුඩා පරිමාණයේ ණය සපයන ආයතන හා සම්බන්ධ වී ඇති බවයි.
වර්තමානයේ විවිධ වූ නියාමන අවශ්‍යතා හා ප්‍රමිතීන්වලට අනුගත වූ රාජ්‍ය ආයතන මඟින් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය හා අධීක්ෂණය සිදුකරනු ලබන බව පවසන අමාත්‍ය මණ්ඩල තීරණයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙම ක්ෂේත්‍රයේ පවතින සංකීර්ණභාවය මත වඩාත් විධිමත්ව නියාමනය හා අධීක්ෂණ කටයුතු සිදු නොකෙරුණහොත් ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රය තුළ අපේක්ෂිත කාර්යක්ෂතාව හීනවීමට හේතු විය හැකිබවයි.
තවද එම ක්ෂේත්‍රය තුළ අනුගමනය කරනු ලබන ක්‍රමවේදයන් අවභාවිත කිරීම තුළින්, කුඩා පරිමාණයේ ණය පහසුකම් ලබා දෙන ආයතනවලින් ප්‍රතිලාභ ලබන අඩු ආදායම්ලාභීන් හට විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පෑමටත් සිදුවිය හැකි බැවින් මෙවැනි පනතක අවශ්‍යතාව දැඩිව තිබෙන බව කැබිනට් මණ්ඩලයේ අදහසයි.