සමුපකාර ගීතය,කොඩිය,ලාංජන‍ය







සමුපකාර ව්‍යපාරයේ අභිමානය ලොවට කියන අපේ සමුපකාර ගීතය. ( සමුපකාර ගීතයේ පසු බිම - සි.ස මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය කොටපොල.) මේ විඩියෝව නිර්මානය සි.ස මොරවක් කොරලයේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය කොටපොල විසින් සිදුකර ඇත. ඒ පිලිබදව ඌවේ අපි ඔවුන්හට ස්තුතිය පිරිනමමු.

සමුපකාර ගීතය ( Cooperative Song )

මහජන දියුණුව සැලසෙන්නේ
පදනම සහයෝගය වෙමිනේ
සමගි බලේ // / යොදවමිනේ
සිරිලක නිදහස රැුකදෙන්නේ
ජය වේවා සිරිදේවා - සමුපකාරය පැතිරේවා

උස්මිටිකම් අමතක කරදා
දුර හැර ආගම් කුල බේදා
අලස නොවී /// දිරිය යොදා
ලක්මව සුරකිමු අපි සැමදා
ජයවේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

තම තමනට දෙන ආධාරේ
විලස ගැනේ සම උපකාරේ
දිළිඳු දනා /// පෙළ අතරේ
සේවය වෙයි සිරිලක් අඹරේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සිය රට ගොඩමඩ ගොවිතැනෙහි
වෙළහෙළදාමෙහි අත්තමෙහි
දියුණුවටා /// මතු දිනෙහි
පිහිටයි සමුපකාරයෙහි
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

ජාතික ධනය ද සුදුසු ලෙසේ
පොදු ජනයා හට බෙදන ලෙසේ
සමවාසී /// ලැබෙන ලෙසේ
සමුපකාරයෙන් ඉඩ සැලසේ
ජය වේවා - සිරිදේවා - සමුපකාරය පැතිරේවා

සමුපකාරය බලය යොදා
රට තොට උවදුරු නැති කරදා
අසරණයා // දුකින් මුදා
සැමටම සුබසෙත කරමු උදා
ජය වේවා - සිරිදේවා සමුපකාරය පැතිරේවා

සමුපකාර ගීතයේ ප‍්‍රබන්ධය -  සරණගුප්ත අමරසිංහ මහතා

සමුපකාර ගීතයේ තනු නිර්මාණය - ජේ. කේ. සෙබස්තියන් පෙරේරා මහතා

සමුපකාර කොඩිය (Cooperative Flag)


සර්වකාලීන හා සියළු ජාතීන් නියෝජනය කරන දේදුන්නේ පැහැය මෙම ධජයට ගෙන ඇත. සමුපකාර කොඩිය සෑම රටකටම එකසේ බලපවත්වයි. මෙම කොඩිය ජාත්‍යන්තර සමුපකාර සංධානයේ මැදිහත් වීමෙන් පිළිගන්නා ලද්දකි. මෙහි නිර්මාතෘ වන්නේ ප‍්‍රංශ ජාතික සමුපකාර විද්වතෙකු වූ චාල්ස්ගයිඞ් මහතාය. මෙයින් පිළිබිඹු කරන්නේ අනාගත මානව දයාවේ විශ්වාසනීයත්වය බව චාල්ස්ගයිඞ් මහතා ප‍්‍රකාශ කර ඇත. මෙය ප‍්‍රථමයෙන් ප‍්‍රදර්ශනය කර ඇත්තේ 1923 පැවැත් වූ පළමු ජාත්‍යන්තර සමුපකාර දිනයේදීය.

සමුපකාර කොඩියේ සඳහන් වර්ණ 07 න් කියවෙන්නේ පහත සඳහන් අදහස්ය.

රතු පාට        :   උට්ඨාන වීර්ය
රඹ පාට        :   හරි දැක්ම වෙනුවෙන් කැපවීම
කහ පාට       :   අභියෝගයන්ට ඥාණාන්විතව මුහුණ දීම.
කොල පාට   :   සමුපකාරක හරයන් මැනවින් අවබෝධ කර ගැනීම හා සාමාජිකත්ව  වර්ධනය
ලා නිල් පාට :  සමස්ථ මිනිස් වර්ගයාගේ එකමුතුකම හා සහජීවනය.
දම් පාට         :  මිත‍්‍රත්වය හා ප‍්‍රබෝධමත් බව.

ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය The official logo of Sri Lanka Co-operative



ශ‍්‍රී ලංකාවේ නිල සමුපකාර ලාංජනය නිර්මාණය කරන ලද්දේ  ඕවන් වීරක්කොඩි මහතාය. මෙයින් පිළිබිඹුවන්නේ, කාර්මික, කෘෂිකාර්මික සහ සේවා ක්‍ෂෙත්‍රයේ සංකලනය සහ සහයෝගීත්වය සහ සංවර්ධනයයි