Wednesday 8 May 2024

ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය

 

ශ්‍රි ලංකාවේ සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය හා ව්‍යාප්තිය

සමුපකාර යන වවනය ඉතා පුළුල් අරුතින් ගත් කල මිනිසාගේ පැවැත්ම ආරම්භ කල මුල් අවධියේ සිටම මිනිසා සාමුහික හැගිමෙන් යුක්තව සිටි බව දැකිය හැකිය. මුල් යුගයේ දඩයම්කරුවන් ද සිය ගොදුරු සොයාගැනිමට පහසු ක්‍රමය  සාමුහික ක්‍රමය බව දැන සිටියහ. මීට පසු ඇරඹි සංචාරක එඩේරු යුගය හා මුල් ගොවි සමාජය ද ආහාර සොයාගැනිම සදහා සාමුහික වශයෙන් බැදි සිටියහ.

ශ්‍රි ලාංකීය ජන සමාජය ද සමාජිය වශයෙන් සාමුහික හැගිමෙන් කටයුතු කරන ලද බව පැහැදිලි වේ. ගොවිතැනේ දි අත්තම නමින් හැදින් වු සාමුහිකව කටයුතු කිරීමේ  ක්‍රමයට සමුපකාරය යන වචනය ආදේශ නොවුවද පුරාතන ලාංකික සමාජයේ පැවති සමුපකාර පදනමකි. අත්තම් නායකයෙකු සියල්ලන්ගේ කැමැත්ත මත පත්වන අතර සාමුහික තීරණ මත කටයුතු කරනු ලැබීය. මෙම සාමුහික ක්‍රියාකාරිත්වයේ සිත් අලවන ගුණාංගය නම් සමුහයේ නායකත්වය මෙන්ම තීරණ ගැනිමද පොදු සාමුහික හැගිමෙන් යුතුව කටයුතු කිරීමයි. මෙසේ ලාංකිය සමාජය සාමාජිය,ආර්ථික,ආගමික කටයුතු වල දි සාමුහිකව කටයුතු කිරීම දක්නට ලැබේ. මෙම සාමුහිකත්වය එක් බැම්මෙන් බැදතැබිමට සමාජය තුල තීරණ ගැනිමේ ක්‍රියාවලිය කාර්යක්ෂමතාවය ඉතා ඉහලින් බලපානු ලැබිය.

මෙසේ සාමුහිකත්වය මත පදනම්ව පැවති ලාංකිය සමාජය යටත් විජිතවාදයේ  බලපෑම මත බිදවැටිමට ලක්විය. සමාජිය හා ආර්ථික ක්‍රමයෙහි විශාල වෙනස්කම් සිදුවෙමින් පැවති සහ විප්ලවීය වාතාවරණයක් සහිත කාලයක් වු 19 සියවස ආරම්භක භාගයේ යුරෝපීය සම්භවයක් සහිතව සමුපකාර ව්‍යාපාරයේ ආරම්භය වූවා සේ සැලකේ.

ශ්‍රි ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක වෙනසක් ඇති කරනු ලැබියේ ඉංග්‍රිසි ජාතිකයන් විසින්ය. හිරු නොබසින අධිරාජ්‍යයක් ගොඩ නගා ගනිමින් තිබු ඉංග්‍රිසින් හට ශ්‍රි ලංකාව තවත් එක් යටත් විජිතපාලනයක් සහිත දුපතක් නොවිය. වෙලදාමට වඩා යමක් ඔවුන් මෙම කුඩා දුපත තුල දුටීය. මේ හේතුව නිසා ඉංග්‍රිසින් 1815 දි උඩරට රාජ්‍යය ගිවිසුමක් මගින් අත්පත් කරගෙන ක්‍රමානුකූලව සිය ආධිපත්‍යය ලක්දිව ව්‍යාප්ත කලහ. ඉංග්‍රිසි පාලනයේ කටුක බව දත් ඌව වෙල්ලස්ස ජනයා 1817-18 කාල වකවානුයේ සිදුකල වෙල්ලස්ස කැරැල්ල ඉතා කෘර ලෙස මර්ධනය කරනු ලැබු ඉංග්‍රිසින් ඌව වෙල්ලස්ස මුඩු බිමක් බවට පත්කරනු ලැබීය. මේ හේතුවෙන් ඌව වෙල්ලස්ස ජනයාගේ දරිද්‍රතාවය උත්සන්න වි ණය ගැතිභාවය ද  ඉහල යන්නට විය. මේ හේතුවෙන් ඌවේ ගොවින් විසින් එවකට ඌව දිසාපතිව සිටි ඕ.කෙවින් මූර්ති මහතා වෙත පෙත්සමක් ඉදිරිපත් කරන ලදි.ඒ වන විට ඉංදියාවේ බෙංගාලය ආශ්‍රිතව පෙඩ්‍රික් නිකොල්සන්ගේ වාර්තාවක් අනුව  රැපයිසන්    ක්‍රමයේ ණය දෙන සමුපකාර සමිති ආරම්භ කර තිබුණි.

මෙම බෙංගාල සමුපකාර සමිතිවල අත්දැකිම් සහිත ව ඕ. කෙවන් මුර්ති මහතා බෙංගාලි සමුපකාර ක්‍රමය මෙරටට ගැලපෙන බවට නිර්දේශයක් 1908 දි යටත් විජිත ලේකම්වරයාට ඉදිරිපත් කල බවට සටහන් වි තිබේ. මේ අතර 1904 දි පිහිටුවා ගන්නා ආණ්ඩුකාරවරයා සභාපති ධුරය දැරු ලංකා කෘෂිකාර්මික සමිතිය ගම්බද ගොවින් සදහා  ණය ක්‍රමයක් සකස් කරන ලෙස රජයට නිර්දේශ  කරන ලදි. 1906 දි එම කෘෂිකාර්මික සමුපකාර සමිතියේ දුම්බර ශාඛාව ඇසුරු කර ගෙන ණය දෙන සමිතියක් දුම්බර  මිටියාවතේ තෙල්දෙණියේ පිහිටුවා ගන්නා ලදි.

ශ්‍රිමත් පෙඩිරික් නිකොල්සන්ගේ නිර්දේශ මදුරාසියේ කෙතරම් දුරට සාර්ථක වි ඇද්දයි සොයා බලා පරික්ෂා කිරීම සදහා කෘෂිකර්ම බැංකු කමිටුව නමින් විශේෂ පරික්ෂණ කමිටුවක් 1908 දි ලංකා ආන්ඩුකාර හෙන්රි මැක්ලම් විසින් පත්කරන ලදි. එම කමිටුවේ සභාපතිත්වයට එල්.එම්.ක්‍රොපඩ් සාමිවරයා පත්කල බැවින් එම කමිටුව ක්‍රොපඩ් කොමිෂම ලෙසද හැදින්විය.  මෙම කොමිෂමේ වාර්තාවෙන් (1910 අංක 08 සැසි වාර්තාව) සමුපකාර ණය දෙන සමිති පිහිටුවීම, ලියාපදිංචිය, පාලනය කිරීම සදහා ඉංදියාවේ 1904 සමුපකාර ණය දෙන සමිති ආඥා පනත වැනි ආඥා පනතක් පනවන ලෙස නිර්දේශ කරන ලදි. මෙම නිර්දේශයන් අනුව යමින් 1911 මැයි මස 05 වන දින 1911 අංක 07 දරණ සමුපකාර ණය දෙන සමිති ආඥාපනත ව්‍යවස්ථාදායකය විසින් සම්මත කිරීමත් සමග මෙරට සමුපකාරයේ නිල ආරම්භය සිදුවිය. 1912 දි අංක 01 යටත්   වැල්ලබඩ පත්තු සමුපකාර ණයදෙන සමිතිය ලියාපදිංචියත් සමග සමුපකාර ව්‍යාපාරය මෙරට අක්මුල් විහිදා ව්‍යාප්ත වන්නට විය. ඌවේ ජනයාගේ ඉල්ලිමක් මත මෙරට ස්ථාපිත වු  සමුපකාර ව්‍යාපාරය ඌව පළාත තුල ප්‍රථම වරට පිහිට වුයේ අංක 15 යටතේ ලියාපදිංචි වු ඌව ණය දෙන සමුපකාර සමිතිය පිහිටුවිමෙනි. ඌව පලාත මෙරට සමුපකාර ව්‍යාපාරයේ සුවිශේෂි ඉතිහාසයක් නිර්මානය කරනුයේ ප්‍රථම  වතුකඩ සමුපකාර සමිතිය 1927 දි පස්සර වතුයාය කම්කරුවන්ගේ සමුපකාර සමිතිය පිහිටුවිමෙනි. 1947 දි පිහිට වු පාලුගම ගොවිද්‍රව්‍ය නිපදවිමේ හා අලෙවි කිරීමේ  සමිතිය ඌව පලාතේ සමුපකාරය ජාත්‍යන්තර තලයට ගෙන යමින් පරමාදර්ශි සමුපකාර සමිතියක් ලෙස ඌවේ වැජඹෙමින් පැවතුනි.

මෙලෙස ආරම්භ වු සමුපකාර ව්‍යාපාරය පහත පරිදි යුග වලට බෙදා වෙන්කර දැක්විය හැකිය.

1)               ආරම්භක යුගය 1911 පෙර යුගය

2)               1911-1942 ණය දෙන සමිති යුගය

3)               1942-1947 පාරි‌භෝගික සමිති යුගය

4)               1947-1957 ගොවිද්‍රව්‍ය නිපදවිමේ හා අලෙවි කිරීමේ  සමිති යුගය

5)               1957-1970 විවිධ සේවා සමිති මුල් යුගය

6)               1970 සමුපකාර සමිති ප්‍රති සංවිධානය හා නුතන විවිධ සේවා සමුපකාර සමිති යුගය

1970 දි ප්‍රති සංවිධානය කල විවිධ සමුපකාර සමිති පසුකල කාලය අනුව එය ද යුග කිහිපයකට බෙදා වෙන් කල හැකිය.

 

                    I. 1970-1977එවකට පැවති රජයේ ප්‍රතිපත්ති අනුව භාණ්ඩ බෙදාහැරිමේ කටයුතු

                 II. 1978 නිදහස් ආර්ථිකය යටතේ සමුපකාර ව්‍යාපාරය

              III. 1989 දි ජන සවිය යුගයේ සමුපාකාර ව්‍යාපාරය

              IV. 1994 දි සමෘද්ධි ව්‍යාපාරය හා බද්ධ සමුපකාර ව්‍යාපාරය

                V. 2005  රාජ්‍ය යන්ත්‍රනයෙන්  භාණ්ඩ බෙදාහැරිම නිදහස් කල පසු ස්වාධින වෙලදාමට යොමු වු සමුපකාර සමිති  යුගය

1970 න් පසු යුගය විවිධ සේවා සමුපකාර සමිතිවල ව්‍යාපාරික කටයුතු හා තිරණ ගැනිමේ දි රාජ්‍ය බලපෑම සෘජුව එල්ල වු යුගයයි. එම යුගයේ සමුපකාර සමිතිවලට සිදුවුයේ රාජ්‍ය ප්‍රතිපත්ති මත භාණ්ඩ බෙදා හැරිමයි. මේ සදහා තොග භාණ්ඩ සතොස මගින් ලබාදෙන අතර රජය විසින් ජනයා වෙත ලබා දි තිබු කෝටාවකට අනුව භාණ්ඩ බෙදාහැරිම සිදුවිය. නමුත් 1978 දි මෙරටට හදුන්වා දුන් විවෘත ආර්ථිකය තුල සමුපකාර ව්‍යාපාරය රජයේ භාණ්ඩ බෙදාහැරිමෙන් මුදාහල අතර එතැන් සිට පුද්ගලික අංශය සමග තරගකාරි ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නට සිදුවිය. මෙය සමුපකාර ව්‍යාපාරයට නවමු අත්දැකිමක් විය. එසේ වුවද 1978 දි සම්මත කරගත් සමුපකාර සමිති විශේෂ විධිවිධාන පනතින් මුලුමනින්ම දේශපාලනියකරණය වු විවිධ සේවා සමුපකාර සමිතිවලට ස්වාධීනව තිරණ ගැනිමේ හැකියාවට බාධා එල්ල විය. එය විවෘත ආර්ථිකයක් සමග නිදහස් වෙලදාමට ප්‍රවේශ වීමට මෙන්ම එයට හැඩගැසිමට තිබු අවස්ථාද අහිමිවීම නිසා විවෘත ආර්ථිකය තුල විවිධ සේවා සමුපකාර සමිති හුදකලා විය.

1989 දි ජන සවිය හදුන්වා දුන් පසු ජනසවිලාභින්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරිම නිසා යම් තරමකට ජවයක් ලත් විවිධ සේවා සමුපකාර ව්‍යාපාරයට 1994 දි සමෘද්ධි ව්‍යාපාරය හා බද්ධ වන්නට විය. එය ද  සමුපකාර ව්‍යාපාරයට යම් වාසිදායක තත්වයක් විය. එසේ තිබියදි 2005 දි සමෘද්ධී  ව්‍යාපාරය සමුපකාර ව්‍යාපාරයෙන් වියුක්ත කිරීම නිසා එය සහනාධාර බෙදාහැරිමේ සංස්කෘතියට අනුගතව සිටි විවිධ සේවා සමුපකාර සමිතිවල මරුපහරක් විය. නමුත් එය ආශිර්වාදයක් කරගත් සමුපකාර සමිති ද විය.

No comments:

Post a Comment